පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයට අනුබද්ධ පුරාවිද්‍යා අංශය විසින් කළමනාකරණය කරනු ලබන සෙනරත් පරණවිතාන අධ්‍යයන හා පර්යේෂණ කෞතුකාගාරයේ ඇත් දළ කෞතුක වස්තු ඇතුළු අයිතම කෞතුකාගාරයෙන් මෑත කාලයක දී අතුරුදහන් වී ඇති බවට ඇඟවෙන ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අතුරුදහන් වූ බව පැවසෙන පුරාවස්තු ලේඛනගත කර විශ්වවිද්‍යාලය භාරයේ සුරක්ෂිතව පවතින බවත් ප්‍රකාශ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ අතුරුදහන් වී ඇති බව කියන ඇත් දළ කැටයම් ඇතුළුව සියලුම කෞතුක වස්තු ලේඛනගතකර විශ්ව විද්‍යාලයේ භාරයේ ආරක්ෂිතව පවතින බවට මහජනතාවට සහතික වන බවය.
කෙසේ වෙතත් ඇත්දළමුවා පුරාවස්තු හතරක් අතුරුදහන්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව අධිකරණ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උපකුලපතිවරයා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, විශේෂඥ කමිටුවක සහාය ඇතිව සිදු කරන ලද පරීක්ෂණ අවසන් කර ඇති බවත් අවසන් වාර්තාව ඉක්මනින් අපේක්ෂා කරන බවත් උපකුලපතිවරයා නිවේදනයෙන් දන්වා සිටී.
වසා දමා ඇති සෙනරත් පරණවිතාන අධ්‍යයන හා පර්යේෂණ කෞතුකාගාරය, දැනට පවතින ලේඛනගතකිරීමේ ක්‍රියාවලිය අවසන් කර කෞතුක වස්තුවල ආරක්ෂාව සහතික කළ පසු, විශ්ව විද්‍යාල සිසුන්ට සහ මහජනතාවට නැවත විවෘත කරනු ලබන බව ඔහු එම නිවේදනයෙ සදහන් වේ.
සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය නොසැලී සිටින බවත්, කෞතුකාගාරයේ සහ එහි එකතුවෙහි අඛණ්ඩතාව සහතික කරන බවත්, අපගේ සියලුය් මෙහෙයුම් වලදී විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් අපි ආරක්ෂා කරන බවත් උපකුලපතිවරයා සහතික වෙයි.