පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය අද (ජූනි 07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇත. දින ගණනාවක් පුරා පැවති මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගී සේවා කටයුතුවලට බරපතළ බාධා එල්ල විය.
විශේෂයෙන්, වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ, විකිරණවේදය, භෞත චිකිත්සාව, ඖෂධවේදය වැනි අත්‍යවශ්‍ය සේවා ඇනහිටීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත් වූහ. රෝගීන්ගේ ජීවිතවලට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයන් ද මේ හේතුවෙන් උද්ගත විය.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේ, වර්ජනයෙන් රෝගීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින්, සිය සංගම් පහෙන් සංගම් හතරක් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් තවදුරටත් වර්ජනයේ නිරත වීම හේතුවෙන්, රසායනාගාර සේවාවන්හි බාධා තවදුරටත් පැවතිය හැක.