දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව ජනන යන්ත්‍ර 02ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව එම බලාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලිබිද වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය. එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.
ඇතිවූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැය එකහමාර බැගින් සහ පසුගිය 13 වනදා පැයක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය. කෙසේවෙතත් ඊයේ උදෑසන වන විට නොරොච්චෝලේ බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය පද්ධතියට එක් කෙරුණි.
බලශක්ති අමාත්‍යංශය ඊයේ (14) නිවේදනය කළේ, මේ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි. අක්‍රීයව පැවති නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයද ඊයේ පස්වරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් මේ වනවිට එම බලාගාරයෙන් මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර තිබේ.