මෙරට නිවෙස්වල සවිකර ඇති ට්‍රිප් ස්විච්වලින් 25%ක් පමණ දෝෂ සහිත බව මහජන උපයෝගිතා කොමිසම (PUCSL) සිදුකළ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙය විදුලි අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට කොමිසම අනතුරු අඟවයි.
ඊයේ (ජූලි 9) ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ පරීක්ෂා කිරීමේ අධ්‍යක්ෂ ලිලන්ත නීලවල මහතා මේ බව අනාවරණය කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ට්‍රිප් ස්විච් නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම්, නිවෙස්වල සිදුවන විදුලි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාවෙන් 40%ක් පමණ වළක්වා ගැනීමට හැකිව තිබූ බවයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා, අවම වශයෙන් මසකට එක් වතාවක් හෝ නිවසේ ඇති ට්‍රිප් ස්විචය නිවැරදිව ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව, සතුන්ට ඇටවූ විදුලි උගුල්වල ගැටීමෙන්ද විදුලි මරණවලින් 40%ක් පමණ සිදුවී ඇති බව නීලවල මහතා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ නිවෙස්වල සහ නිවෙස් ආශ්‍රිතව බවයි.