පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කරන ලද බහාලුම් තොගය අයත් සමාගම් ලැයිස්තුව අනාවරණය කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (ජූලි 07) රේගු මූලස්ථානයට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් භාරදී තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ එම සමාගම් වහාම ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ යුතු බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නිදහස් කරන ලද බහාලුම් 309 න්, බහාලුම් 151 ක් රතු ලේබල් යටතේ තිබූ ඒවා බවත්, එයින් අදහස් කරන්නේ ස්කෑන් කිරීමට අමතරව භෞතික පරීක්ෂාවක් ද සිදුකළ යුතු බවත්ය.
මෙලෙස නිදහස් කර ඇත්තේ එකම සමාගම් කිහිපයකට අයත් බහාලුම් තොගයක් බවත්, මෙය අහම්බයක් නොවන බවත්, සමාගම් 65 ක් තිබෙන බවට සඳහන් වුවද එහි හිමිකරුවන් සිටින්නේ 7 ක් හෝ 8 ක් පමණක් බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළා.
ආණ්ඩුව හෝ විපක්ෂය මෙම සමාගම් හෙළි කිරීමට කටයුතු නොකරන බවත්, මෙම සමාගම් යම් බදු වංචාවක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.