මෙරටට පැමිණෙන සංචාරකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීම (BIA) තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දීමේ නව වැඩපිළිවෙළක් අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිළිවෙළ දැනට අවසන් අදියරේ පවතින බවයි. ඊට අදාළ තවත් නීතිමය කටයුතු කිහිපයක් සම්පූර්ණ කිරීමෙන් පසු මෙම සේවාව ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම තාවකාලික රියදුරු බලපත්‍ර දින 14 සහ දින 30 යන කාලසීමාවන් සඳහා නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. එපමණක් නොව, වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරන සංචාරකයින්ට වසර 8ක් සඳහා වලංගු සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවද පවතින බව කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම පියවර මගින් සංචාරකයින්ට මෙරට තුළ රිය පැදවීමේ පහසුකම් වැඩිදියුණු වනු ඇති අතර, සංචාරක කර්මාන්තයටද එය ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.