තලවතුගොඩ පිහිටි රාත්රී සමාජ ශාලාවක් ඉදිරිපිට අද (ජූලි 19) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලීසිය සඳහන් කරන පරිදි, රාත්රී සමාජ ශාලාවට පැමිණි පුද්ගල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇත. ආරවුලට සම්බන්ධ නොවන තවත් පුද්ගලයෙකු බලපත්ර සහිත රිවෝල්වරයක් රැගෙන එම ස්ථානයට පැමිණ ප්රතිවිරුද්ධ පාර්ශ්වය බිය ගැන්වීම සඳහා තාප්පයකට වෙඩි තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.
තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.