මෙරටදී එකලස් කරන ලද bmw මෝටර් රථයක් කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (25) නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදි. එහිදී පෙත්සම්කාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල පල්ලියගේ මහතා සඳහන් කළේ අධිකරණයට දුන් පොරොන්දුව අනුව ප්රකාශයක් ලබාදීමට ගිය සිය සේවා දායකයා පෙරේදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බවය.
අනතුරුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව නීතිඥවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවද නීතිඥවරයා දන්වා සිටියේය. ඒ අනුව මෙම පෙත්සමට අදාළ අමතර ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම නොවැම්බර් මස 05 වැනිදා කැඳවීමට නියෝග කළේය. කොළඹ හිල්ටන් හෝටල් රථගාලේ නවතා තිබියදී bmw රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනවලට අදාළව කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම්කර සිටින ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.