පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි. මෙයට අමතරව වියදම් වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව කුලරත්න මහතා සඳහන් කළේය.
වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධික පිරිසටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.
චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇති බවයි.
වියදම් වාර්තා භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.