විශ්වවිද්‍යාලයෙහි සිසුන් දෙපිරිසක් අතර උද්ගතව පවතින නොසන්සුන්කාරි වාතාවරණය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි විශ්වවිද්‍යාලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ත් ඒ අනුව සියලු ම සිසුන් විශ්වවිද්‍යාල භූමියෙන් ඊයේ (සැප්. 12) ප.ව. 6:00 වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන ලෙසත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම් දී තිබේ.
සියලු ම පීඨයන්ගෙන් සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයන්ගෙන් එම කාලය තුළ ඉවත් නොවී නේවාසිකාගාර ඇතුළු විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එමගින් දැනුම් දී ඇත.
සිසුන් කලා උළෙලක් මුල් කර ගෙන ගැටුමකට මුල පුරා තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, ඊයේ දහවල් කාලයේ සිට සිසුහු විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්ව නිවෙස් බලා ගියහ.
මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන මෙම කාලපරිඡේදය තුළ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි සියලු උපකුලපතිවරුන් දැනුවත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
කොළඹින් බැහැර විශ්වවිද්‍යාලවල ප්‍රසිද්ධියට පත්නොවූ සිදුවීම් වාර්තා වී ඇතැයි කී සභාපතිවරයා නීතිය කඩකරමින් නේවාසිකාගාරවල හෝ විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරන සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව සදහන් කළේ ය.
මැතිවරණ කාලසීමාව තුළ සිසුන්ගෙන් උණුසුම්කාරී සිදුවීම් අපේක්ෂා කළ හැකි බව ත් ඊට මුහුණ දීමට නීති අංශ දැනුවත් කළ බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසුගිය 11 වන දා සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉකුත් 10 වන දා සිසු ගැටුම් ඇතිවීම හේතුවෙන් එම විශ්වවිද්‍යාල වසා දමා ඇතැයි කී අමරතුංග මහතා ජනාධිපතිවරණයෙන් පසුව යළිත් එම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව පැවසීය.
මෙම සිදුවීම් පිළිබඳව විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගෙන් වාර්තා ඉල්ලා ඇතැයි ද සභාපතිවරයා කීය.
නීතියට ගරු කරමින් අධ්‍යයන කටයුතුවල යෙදීමට සිසුන්ට ද වගකීමක් තිබෙන බව පැවැසූ හෙතෙම ඉදිරි දින කිහිපය නිවාඩු කාලයක් බැවින් බොහෝ සිසුන් නිවස්වලට යනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.
මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ සවස 6:00 සිට වසා දැමූ අතර එම කාලයට පෙර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රවලින් ඉවත් වන ලෙසට පාලනාධිකාරිය දැනුම් දී තිබිණි.
එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ හා ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මීට හේතුවී ඇත.
දින තුනක් තිස්සේ ජ’පුර විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල ගැටුම් ඇතිවී තිබෙන ඉකුත් 11 වන දා එය දරුණුවට පැවැති බව ත්, එහිදී තුවාල ලැබූවන් රැගෙන යෑමට ගිලන් රථ පවා ගෙන්වීමට සිදුවූ බව ත් විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි