ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, රටේ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින්, ලබන ජූනි 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම වැදගත් සංචාරය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ විශේෂ ආරාධනාවකට අනුව සිදු කෙරෙන බවයි.
මෙම තෙදින සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපතිවරයා ඇතුළු ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග වැදගත් ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීමයි.
ශ්‍රී ලංකාවට නව ආර්ථික සහයෝගීතා අවස්ථා රැසක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතයි.