නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 – 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි .
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලටද පීඩාවක් ඇතිවන අයුරින් අධික ලෙස ශබ්ද නගනිමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් බණ්ඩාරගම නගරය සහ අවට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම පොලිස් භාරයට ගත් අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළේය