ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සහ ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරන කාලයේ අයහපත් කාලගුණික තත්ත්වයන් මත ආපදා සිදුවුවහොත්, ඊට ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් රාජකාරී කිරීමට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී ඇත.
ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික්/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා මැතිවරණ කොමිෂන් සභාවේ පෙරේදා (10 වැනිදා) පැවැති සාකච්ඡාවේදී මේ බව දැනුම්දී ඇත.
මැතිවරණ කාල සීමාව තුළදී වර්ෂා තත්ත්වය හෝ වෙනත් කාලගුණික සාධක මත ආපදා තත්ත්යක් උද්ගත වුවහොත් ඊට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.
මේ දිනවල දිවයිනේ නිරිත දිග කලාපය ආශ්‍රිතව වර්ෂාපතන තත්වයේ යම් වැඩිවීමක් තිබෙන බැවින්, ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ආපදා සහන සේවා කණ්ඩායම් උපකරණ සහිතව සූදානම් කර තැබීමට කටයුතු යොදා ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු පවසති.
අධික වැසි තත්ත්වයක් යටතේ නායයෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ, පාසල් හා ගොඩනැගිලි සම්බන්ධ වාර්තාවක්ද ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී ඇත.