අනුරාධපුරයේ චීවරධාරියෙකුට අද (ජූනි 12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී. පෙම්වතියක සමඟ කළ පුද්ගලික වීඩියෝ දර්ශන, ප්‍රේම සබඳතාව බිඳවැටීමෙන් පසු අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට අදාළවය මෙම තීන්දුව ලබා දෙන ලදි.
මීට අමතරව, රුපියල් 2,500ක දඩ මුදලක්ද, වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම වනු ඇතැයිද අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම දඬුවම නියම කෙරුණේ, අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ලබා දුන්නාය.
රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාර හිමිනම සහ පැමිණිලිකාරිය වට්ස්ඇප් ඔස්සේ හඳුනාගෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවය. නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර හිමිනම චෝදනා පිළිගන්නා බව අධිකරණයට දැනුම් දීමෙන් පසු, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණි. ඇප තැබීමට නොහැකිවීම හේතුවෙන් දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකාර හිමිනම පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබීය.
පසුව මෙම නඩුව අද දිනයේදී යළි කැඳවූ අතර, අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය මඟින් චෝදනා තුනක් යටතේ ගොනු කළ නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම සිර දඬුවම නියම කළාය.