පසුගිය වසර කීපය තුළ ආරක්ෂක අමාත්‍යාංශය හරහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ලබාගත් ගිනි අවි 1690 අතරින් පිස්තෝල 30 ක් ඊයේ (09) දා වන විට වැලිසර නාවික හමුදා කඳවුර වෙත භාරදී ඇත.
ඒ පුද්ගලික ආරක්ෂාව සඳහා ලබාදී තිබෙන ස්වයංක්‍රීය ගිනි අවි වහාම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ නියෝගයට අනුව මෙම අවි මෙසේ භාරදීමට පටන්ගෙන ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
පසුගිය වසර කීපය තුළ ආරක්ෂක අමාත්‍යාංශය හරහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ඉවක් බවක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි නිකුත් කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ස්වයංක්‍රීය ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනට ඊයේ පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ පසුගිය වසර කීපය තුළදී ගිනි අවි බලපත්‍ර 1690 ක් නිකුත් කර ඇති බවයි.
මෙම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කළ යුතු බවත් එහිදී නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය සොයාගැනීමට හැකි වන බවත් පොලිසිය පවසයි.
මෙම ගිනි අවි බලපත්‍ර ලබාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් පොලිස් ස්ථානවලින් පොලිස් වාර්තා ලබාගෙන ඇත. එසේ ලබාගෙන ඇති පොලිස් වාර්තා ඔස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
ඉවක් බවක් නොමැතිව නිකුත් කළ ගිනි අවි සම්බන්ධයෙන් නිවැරදි විගණනයක් කර ඒවා නිසි ක්‍රමවේදයකට අනුව ආපසු සුදුසු අයට ලබාදීමේ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.
රජයේ ආරංචි මාර්ග පවසන්නේ පසුගිය රජය සමයේ සිටි ඇතැම් දේශපාලනඥයන් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ගිනි අවි 8-10 ලබාගෙන ඇති බවය.
මෙසේ ලබාගත් ගිනි අවි වලින් ඇතැම් ඒවා අස්ථානගතවී ඇති බවද වාර්තා වෙයි.