කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසීය.
ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ප්‍රතිපූරණය කර ඇති බව ද නාගරික කොමසාරිස්වරයා කීය.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ක්‍රමවේදයක් මෙම වැඩපිළිවෙල හරහා හඳුන්වා දීමට කටයුතු කරන බව ද පාලිත නානායක්කාර මහතා කීය.
කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද, නාගරික ඉදි කිරීම් අධිකාරියක් පිහිටුවීමට ද, කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ යටතේ පියවර ගැනේ.
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට ද කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කරන බව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කීය.
පසුගිය දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මෙම අදහස් පළ කළේ ය.