පරිගණක අපරාධ සිදු කිරීම සඳහා මෙරට රැඳී සිටින බවට සැක කරන චීන ජාතිකයෝ 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ සුපිරි හෝටලයක රැඳී සිටියදී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකය හා මහනුවර මූලස්ථාන පොලිසියේ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව පෙරේදා (ඔක්. 12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරු හෝටලයේ සුඛෝපභෝගී කාමර 72ක් ඇති අතර ඉන් කාමර 47ක් මෙම චීන ජාතිකයන් මාස 6ක කාලයක් සඳහා කුලියට රැගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම චීන ජාතිකයෝ ඉකුත් සැප්තැම්බර් මස 30 වන දා සිට මෙම හෝටලයේ රැඳී සිට ඇති අතර තවත් චීන ජාතිකයන් 75 දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ නවාතැන් ගැනීම සඳහා පැමිණෙන බව ඔවුන් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී තිබී ඇතැයි පොලිසිය කියයි.
මෙම චීන ජාතිකයන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 120ක්, පරිගණක 14ක්, නවීන ජංගම දුරකතන 300කට අධික සංඛ්‍යාවක්, අන්තර්ජාල පහසුකම් සැපයුම් රවුටර් 50කට අධික සංඛ්‍යාවක් මෙන් ම මෙම දුරකතන හා පරිගණක සම්බන්ධ කළ හැකි නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරක් මත මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, පොලිස් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ මහනුවර උප ඒකකය, මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය එක්ව මෙම වැටලීම කර ඇති අතර වැටලීම කරන අවස්ථාවේ චීන ජාතිකයන් කිහිප දෙනෙක් මහවැලි ගඟ දෙසින් පළා ගිය බව ද පොලිසිය පවසයි.
ලොව පුරා විශාල වශයෙන් මුදල් ඇති බැංකු ගිණුම් පිළිබඳ සූක්ෂ්මව විමර්ශනය කොට අන්තර්ජාලය හරහා එම ගිණුම්වලින් රුපියල් බිලියන ගණන් වංචනිකව ලබා ගැනීම මෙම චීන ජාතිකයන් සංවිධානාත්මකව ම සිදු කරන බව ද පොලිසිය පවසයි.
අන්තර්ජාලය උපයෝගී කරගනිමින් නීති විරෝධීව මුදල් වංචා කිරීම යටතේ මෙම චීන ජාතිකයන් හට නඩු පවරන බව ද මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම චීන ජාතිකයෝ සංචාරක වීසා මත මෙරට රැඳී සිටින අතර පසුගිය දා හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ස්ථානයෙන් පලා ආ චීන ජාතිකයෝ 26 දෙනෙකු ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ත් භාෂා පරිවර්තකයෙකු වශයෙන් සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම කණ්ඩායම හෝටලයේ උත්සව ශාලාව සම්පූර්ණයෙන් ලබා ගෙන එහි සිට අන්තර්ජාලය උපයෝගී කරගෙන අපරාධ සිදුකොට ඇති බව සඳහන් වන අතර එම ප්‍රදේශය හෝටලේ සේවකයන්ට පවා තහනම් ප්‍රදේශයක් වූ බවද කියයි.
ඉතාමත් සුඛෝපභෝගී ආහාරපාන ලබා ගෙන ඇති මෙම චීන ජාතිකයෝ දින 8කට ආහාර ලබා ගැනීමේ උදෙසා රුපියල් ලක්ෂ 50කට ආසන්න බිලක් ගෙවා ඇති බව ද පොලිසිය පවසයි.
මෙම චීන ජාතිකයෝ හෝටලයෙන් පිටතට නොගොස් හෝටලේ තුළ ම රැඳී ඇති බව සඳහන් වන අතර ඔවුන් හෝටලේට යන එන ආකාරය දැක ඇති ප්‍රදේශවාසීහු පොලිස් හදිසි ඇමතුම් අංශයට කීප විටක් කතා කොට ඒ පිළිබඳව දැනුවත් කොට ඇතත් ඒ ඇමැතුම් අනුව, මෙම හෝටලයට පැමිණ ඇති පොලිස් ජංගම රථ නිසි පරීක්ෂාවක් නොකොට හෝටල් පාලන අධිකාරියෙන් තොරතුරු විමසා ගොස් ඇති බව ද සඳහන් වේ.
මෙරටදී එකවර අත්අඩංගුවට පත්වූ වැඩි ම චීන ජාතික සංඛ්‍යාව මෙය බව ද සඳහන් වේ.
අත්අඩංගුවට පත් වූ චීන ජාතිකයන් අතර තරුණියෝ 17 දෙනෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර මෙම සැකකරුවෝ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.