කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය හෙට (3 වැනිදා) බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරැඹීමට නියමිත අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරඟය හෙට පකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතව ඇත. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 9වැනි තරගාවලිය වන මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 10කි.
තරඟාවලියේ මූලික වටයේදී කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2ක් සඳහා බෙදා ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පකිස්තානය සමඟින් ‘ඒ’ කාණ්ඩයෙන් තරඟවදිනු ලැබේ. ‘බී’ කාණ්ඩය සඳහා බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සමගින් බටහිර ඉන්දීය කොදෙව් ඇතුළත් වේ. මූලික වටයේ තරඟ හෙට සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහිදී සෑම කණ්ඩායමකටම සිය කාණ්ඩයේ කණ්ඩායම් සමඟ එක් තරගය බැගින් තරඟ 4ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ.
මූලික වටය අවසානයේ කාණ්ඩයන්හි පළමු හා දෙවන ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර එම තරඟ 17 සහ 18 දිනවල පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව අවසන් මහා තරඟය 20 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ දක්වා පැවැති තරගාවලිවලදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා එකදු අවස්ථාවක හෝ පිවිසීමට සමත්ව නැති අතර ඔස්ට්‍රේලියාව අවස්ථා 6ක ජයග්‍රහණ සමඟින් වැඩි ගෞරව දිනා ගෙන ඇත.
මෙවර තරඟාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ආසියානු ශූරියන් ලෙස පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භයට පෙර ස්කොට්ලන්තය සමඟින් පැවැති සිය අවසන් පුහුණු තරඟය කඩුලු 5කින් ජය ගැනීමට පෙරේදා (30 වැනිදා) සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 19කදී ලකුණු 58කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සමත් විය. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15.3කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය හඹා ගිය අතර එහිදී කවීෂා දිල්හාරි ලකුණු 27ක් රැස් කළාය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මීට පෙර පැවැති පුහුණු තරගයෙන්ද බංග්ලාදේශය පරදා ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට සමත් විය.