තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබුණි.
මෙම පෙත්සම අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර පෙත්සම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළව පෙත්සම්කරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයාට ලබා දී තිබෙන බවත් සඳහන් කළේය.
එමෙන්ම මෙම පෙත්සම්කරු විසින් කරුණු වසන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් මෙම නඩුකරය පවතින්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ බවත් සඳහන් කළේය. මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ ගොනු කෙරුණු මෙම නඩුකරය සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය 2025 වසර දක්වා බලා සිටියේ ඇයි දැයි විමසීය.
ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් ය .
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ අපේක්ෂිත ඇප අයදුම් පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.