ඊශ්‍රායල ගුවන් හමුදා (IAF) ජෙට් යානා මඟින් ඉරානයේ ටෙහෙරානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හුසේන් සලාමී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ බලවත්ම හමුදා ඒකකය ලෙස සැලකෙන IRGC මූලස්ථානය ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී ඇත. ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම න්‍යෂ්ටික ක්‍රියාදාමයට සම්බන්ධ විද්‍යාඥයින් රැසක්ද මෙම ප්‍රහාරවලට ඉලක්ක වී ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායලය මෙම ප්‍රහාර “සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර” ලෙස නම් කර ඇති අතර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ මෙය පළමු ප්‍රහාරය පමණක් බවත්, අවශ්‍ය ඕනෑම කාලයක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත්ය. ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීම වැළැක්වීමට සහ ජනතාව ආරක්ෂා කිරීමට මෙම ප්‍රහාරය සිදු කළ බවද නෙතන්යාහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඉරානය මේ වන විටත් සිය ගුවන් සීමාව වසා දමා ඇති බවට වාර්තා වේ.