ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම තීරණයට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණයයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙය ආරක්ෂිත පියවරක් ලෙස ගත් තීරණයක් බවයි.
“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
එසේම, ඊශ්‍රායලයේ මෙන්ම ඉරානයේ ද සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වාගෙන යන ලෙසටත්, අවශ්‍ය දුරකථන අංක ලබා දී ඇති බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
“විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව.” අමාත්‍යවරයා අවසන් වශයෙන් පැවසීය.