ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අද (ජූලි 16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.
2025 වසර සඳහා රුපියල් මිලියන 5,171ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව මෙය විය. මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද සහභාගී වී සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන තානාපති Qi Zhenhong මහතා මෙසේ පැවසීය: “දරුවන් යනු මේ රටේ අනාගතය පමණක් නොව චීන-ශ්‍රී ලංකා මිතුදමේ උරුමක්කාරයන්. ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති සෑම මැහුමකින්ම අපේ පැරණි ශිෂ්ටාචාර දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ කතාව කියනු ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපකිරීම් මම ඉතාමත් අගය කොට සලකනවා.”
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ සහයෝගීතාවයෙන් යුත් දීර්ඝ කාලීන මිත්‍රත්වයක් බවත්, මෙම නිල ඇඳුම් ප්‍රදානය එම මිතුදමේ එක් පියවරක් බවත්ය. ඇය වැඩිදුරටත් පැවසුවේ, 2023 සහ 2024 වසරවලදී චීන රජය පාසල් නිල ඇඳුම් රෙදි සඳහා සැලකිය යුතු කොටසක් ලබා දී ඇති අතර, 2025 වසරේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවයම ලබා දී ඇති බවයි. “ශ්‍රී ලංකාවට අතිශයින් දුෂ්කර කාලයකදී අප රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් චීන රජයෙන් ලබා දුන් මෙම පරිත්‍යාගය අපට බොහොම වටිනවා,” ඇය අවධාරණය කළාය.
2026 වසර සඳහාද චීන රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය දැනටමත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. අවසානයේදී, ඇය ශ්‍රී ලංකාවේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට ස්තූතිය පුද කළාය