අවාර සමයේදී ද සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත. ඊයේ (ජූනි 6) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
මෙම සාකච්ඡාවේදී, අවාර සමය තුළ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද හරහා ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළ නැංවීමටත් විශේෂ අවධානයක් යොමු විය. එසේම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ලබා දීමෙන් මානව සම්පත වැඩිදියුණු කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්යාලය මූලික කරගත් නව ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
