අනුර දිසානායක යාපනයට පැමිණ තර්ජනකාරී ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ත් ඒ වෙනුවෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහා ම සමාව ගත යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී පැවසීය.
දකුණේ මතයට හවුල් නොවුණහොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව සිතනු ඇතැයි අනුර දිසානායක මහතා යාපනයට පැමිණ කියා තිබෙන බව පැවැසූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය තමන් හෙළා දකින බව ද සඳහන් කළේ ය.
අනුර දිසානායක ‘ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම්’ කියමින් උතුරේ ජනතාවට තර්ජනය කර ඇතැයි කී හෙතෙම සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු යැයි ප්‍රකාශ කළේ ය.
මෙවැනි ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඉදිරියේදී ඔහුට යාපනයට පැමිණීමට නොහැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පසුගිය දා (සැප්. 7) පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
උතුරේ ජනතාව 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකාට ද, 2015දී මෛත්‍රීපාල සිරිසේනට ද, 2019දී සජිත් ප්‍රේමදාසට ද ඡන්දය ලබා දුන් නමුත් මෙවැනි තර්ජනයන්ට, බලපෑම්වලට හෝ ගැටලුවලට මුහුණ දීමට සිදු නොවුණු බව ද ජනාධිපතිවරයා කීය.
අනුර දිසානායක උතුරේ මෙන් ම දකුණේ ජනතාව බියවැද්දවීමට උත්සාහ කරන බව ත් ජනතා විමුක්ති පෙරමුණේ ‘ස්ටයිල්‘ එක එය බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
තමාගේ සැලැස්ම ඉදිරිපත් කර උතුරේ ජනතාවගේ වටිනා ඡන්දය ලබා ගැනීමට අනුර දිසානායක මහතා උත්සාහ කර ඇතැයි පැවැසූ හෙතෙම අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව ත් තර්ජන කිරීම් ගැන උතුරේ මෙන් ම දකුණේ ජනතාවගෙන් සමාව ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ වාඩි වෙන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින බව ත් කීය.
උතුරේ ජනතාව මෙවැනි තර්ජනයන්ට බිය නොවන බව ත් තවදුරට ත් එවැනි තර්ජනයන් සිදුකිරීමට ඉඩ නොදෙන බව ත් පැවැසූ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නියමිත භූමිකාව ඉටු කළේ නම් අනුර කුමාර දිසානායක ඉහළට නොයන බව සඳහන් කළේ ය