සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවති මහජන රැළියේ ආරාධිත අමුත්තන් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ සිදුකළ රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරීන් 7 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට පෙර අනෙකුත් ආරාධිත අමුත්තන් පැමිණෙන අවස්ථාවේ රතිඤ්ඤා දැල්වීම සිදුකොට ඇති බව සඳහන් වන අතර සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන අවස්ථාවේ දැල්වීම සඳහා ‘බර්ඩ්ස් පාර්ක්’ නම් ස්ථානයේ පසෙක ගොඩ ගසා තිබූ රතිඤ්ඤා ගොඩකට ද දැල්වූ රතිඤ්ඤාවල ගිනි පුපුරු පතිත වීමෙන් එම රතිඤ්ඤා ගොඩ ද හදිසියේ පුපුරා යෑම හේතුවෙන් ඒ අසල ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද තුවාල ලද බව සිද්ධිය දුටුවෝ සඳහන් කරති.
මෙම හදිසි අනතුරින් තුවාල ලද්දන් වහා ම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇති අතර තුවාල ලද පිරිස ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දී තිබේ.
රතිඤ්ඤා පිපිරීම හේතුවෙන් තුවාල ලද පිරිස අතර බරපතළ තත්ත්වයේ රෝගීන් නොමැති බව ත් සාමාන්‍ය පිලිස්සුම් තුවාල ලද 9 දෙනා හට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ 9 හා 10 වාට්ටු වෙත ඇතුළත් කළ බව ත් මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය.
තුවාල ලද පොලිස් නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරු 6 දෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කළ අතර මෙම සියලු දෙනා විශේෂ රාජකාරි සඳහා මහනුවර අවට පොලිස් ස්ථානවලින් කැඳවූවන් බව ද පොලිසිය සඳහන් කරයි.