ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන BYD වාහන සම්බන්ධයෙන් බරපතල බදු විෂමතාවයක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අඩු බදු අය කරමින් නවතම BYD වාහන රටට මුදා හැරීමේ “ජාවාරමක්” සිදුවී ඇති බවට බරපතල සැකයක් පවතින බව ඔහු එහිදී අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, BYD සන්නාමය යටතේ ජෝන් කීල්ස් සමාගම විසින් මෙරටට ගෙන්වන ATTO 3 නම් මෝටර් රථයේ නිල ආනයනකරු විසින් ගෙවනු ලබන බදු මුදල රුපියල් ලක්ෂ 55ක් වන බවයි. එහෙත්, එම BYD ATTO 3 මෝටර් රථයම පාවිච්චි කරන ලද (Used) වාහනයක් ලෙස ගෙන්වීමේදී රේගුව විසින් රුපියල් ලක්ෂ 100ක් අය කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය අනුව අදාළ මෝටර් රථය ගෙන්වන ආයතනයට රුපියල් ලක්ෂ 45ක බදු අඩුවීමක් සිදුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එය සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“දැන් මේ රටට එනවා BYD කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ BYD කියන වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා ATTO 3 කියලා වාහනයක්. ඒකෙ කිලෝවොට් 100යි කියලා තමයි ගෙන්වන වාහනයේ සඳහන් වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් නිව් කිලෝවොට් 100 වාහනයට ලක්ෂ 55ක් බදු ගහනවා. ඊළඟට BYD ATTO 3 යූස්ඩ් වාහනය එනවා. ඒ යූස්ඩ් වාහනයට ලක්ෂ 100ක් බදු ගහනවා. නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි ඒ යූස්ඩ් වාහනය කිලෝවොට් 150 යි කියලා තමයි ලියාපදිංචි වෙන්නෙ. එතකොට කිලෝවොට් 100 කියලා ලියාපදිංචි වෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය. ඒ බ්‍රෑන්ඩ් නිව් වාහනයට ලක්ෂ 55ක් බදු ගැහුවාම අර පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100ක් බදු ගැහුවාම ලක්ෂ 45ක හිඟයක් තියෙනවා බදුවල. අපි දන්නෙ නෑ ඒ වාහන ගෙන්වන ප්‍රධාන සමාගමට ආණ්ඩුවත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අර කන්ටේනර් එළියට ගියා වගේ මේකත් මේ අඩුවෙන් බදු ගහලා එළියට දානවද කියලා. මොකද BYD වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවාම ඒකෙ BYD ATTO 3 වාහනය කියලා තියෙන්නෙ කිලෝවොට් 150 යි. කිලෝවොට් 100ක වාහනයක් නෑ. නමුත් වරායෙන් පිටකරනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය කිලෝවොට් 100 යි කියලා, ලක්ෂ 55යි බදු ගහන්නෙ. රීකන්ඩිෂන් වාහනය කිලෝවොට් 150යි, ලක්ෂ 100ක් බදු ගහනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නෙ ? එහෙම වෙන්න විදියක් නෑ”
BYD මෝටර් රථ මෙරටට ගෙන්වා බෙදා හරින්නේ ජෝන් කීල්ස් සමාගම විසිනි. ජෝන් කීල්ස් සමාගම ලබන අගෝස්තු 02 වනදාට “City of Dreams Sri Lanka” ලෙස ආරම්භ කිරීමට නියමිත Nuwa හෝටලය සහ Melco Resorts & Entertainment අති විශාල කැසිනෝ සංකීර්ණය වැනි ප්‍රධාන ව්‍යාපෘති සමඟ ද අත්වැල් බැඳගෙන සිටින සමාගමකි.
BYD මෝටර් රථ ජෝන් කීල්ස් වෙතින් මිලදී ගැනීම ලංකාවේ පාරිභෝගිකයාට අප්‍රසන්න වන ආකාරයේ ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති බවත්, ඒවා ඉදිරියේදී හෙළි කරන බවත් ශ්‍රී ලංකා මිරර් වාර්තා කරයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ හෝ රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරයක් මෙතෙක් වාර්තා වී නොමැත.