පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව, ජූලි මස 28 වන දින යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.
මෙම නඩුව අද නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස්වීමක් ලබා ඇති බැවින්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරුතුමිය විසින් පත් කරන තෙක් බලා සිටින බවයි. ඒ අනුව, නඩු කැඳවීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව, අදාළ නඩුව ජූලි මස 28 වන දින යළි කැඳවීමට නියම විය.
මීට පෙර, මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබුණා. එහෙත්, විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසයි.