යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද (ජූලි 22) දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව සඳහා ඉදිරියේදී තවත් රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති එක්වීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ, අද දින වෘත්තීය සමිති 28ක නියෝජිතයන් CEB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම්, තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී කථානායකවරයාට දැනුම් දුන්නේය. මේ අනුව, රජය සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටය.
විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා (ජූලි 24) පැවැත්වීමට නියමිතයි.