ව්‍යාජ දත්ත ඇතුළත් කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසුව, සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා අද (ජූලි 20) මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මාස හතරකට පමණ පෙර සිට මෙම ජීප් රථය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම රථය මතුගම නගරයේ ධාවනය වෙමින් පවතින බවට ලද තොරතුරකට අනුව, ඊයේ (ජූලි 19) පස්වරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමඟ එය පැදවූ රසික විතාන මහතා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ ජීප් රථය මේ වන විට මතුගම පොලිසියට භාර දී තිබේ.
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවලදී අනාවරණය වී ඇත්තේ එය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා, ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි. මෙම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ පුත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවයි. මෙම ප්‍රකාශය අනුව, පොලීසිය ඊයේ (ජූලි 19) පස්වරුවේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද, ඇය සහ ඇයගේ සැමියා එහි නොසිටි බව වාර්තා වේ.