ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට, කඩුලු 3ක් දැවී ලකුණු 292ක් ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම දවස පුරා වැඩි වාසියක් හිමි කර ගැනීමට සමත් වුණා.
මෙම දිනයේ විශේෂ සිදුවීම වූයේ බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් ශතක වාර්තා කිරීමයි.
අද පෙරවරුවේ තරගයේ මුල් පන්දුවාර 17 තුළදී ලකුණු 45ක් තුළ සිය මුල් කඩුලු 3 බිඳ වැටීමෙන් බංග්ලාදේශ කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට පත් වුවා. එහෙත්, ඉන්පසු පිටියට පිවිසි නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම්, දිනය නිමා වන විට නොබිඳුණු ලකුණු 247ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා.
දින අවසානයේදී නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 136ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 105ක් ලබාගෙන ඔහුට සහය දුන්නා.
පන්දු යැවීමේදී, සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වූ තරිඳු රත්නායක කඩුලු දෙකක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් ලබා ගත්තා.