පසුගිය 2015-2019 යන වසරවල යහපාලන රාජ්‍ය සමයේ සිදු වූයේ යැයි පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් බලරහිත කරනු ලැබුවා.
කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ශ්ව නමයක් විසින් ගොණුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව නිකුත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙසට ද විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්නප්පුලි හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව නිකුත් කළ එම තීන්දු ප්‍රකාශය මඟින් රජයට නියෝග කර තිබෙනවා.
එම නිර්දේශ හා සොයා බැලීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව නීතිපතිවරයා මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබූ නමුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කොට තිබුණා.
පසුගිය මාර්තු 15 වැනිදා පෙත්සම් විභාගය අවසන් කොට තිබූ අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ ඊයේ දිනයේදීයි.
එහිදී සියලුම පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියා.
නීතිඥ මංජුල බාලසූරිය මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මඟින් ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි අබේරත්න මහතා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන් එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා නීතිපතිවරයා ඇතුළු 90 දෙනකු නම් කොට තිබුණා.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව, අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ඇතුළු පිරිසක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටියා.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ නයිජල් හැච්, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළා.