කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණා.
එම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විතයි.
මෙම සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත .
සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බවත්, අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
සමාගම් 100ක් පමණ අද වන විට වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඉන් සමාගම් 74ක් මෙම වසර අවසන් වන විට වරාය නගරයේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද පැවසූ ජනාධිපතිවරයා, මෙරට විදෙස් ණය හිමියන් සමඟ එළැඹි ගිවිසුම් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කළහොත් රටට යහපත් අනාගතයක් උදාවන බව එහිදී පෙන්වා දුන්නා.
මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සැංග් කුයිෆෙන්ග් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා .