පසුගිය ජූනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද්හිදී පුද්ගලයන් 260 දෙනෙකුගේ ජීවිත බිලිගත් බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රිය වීම බවට මූලික විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ලන්ඩන් බලා පිටත්වීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටී අනතුරට ලක්විය. මෙම අනතුරෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.
ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විචයේ සිදුවූ අනපේක්ෂිත චලනයක් හේතුවෙන් එන්ජින්වලට ඉන්ධන සැපයීම අඩාල වී ඇත. අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ (Black Box) පටිගත දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ, ගුවන් යානය නෝට් 180 (180 knots) වේගයකට ළඟා වී ඇති අවස්ථාවේදී, “තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු වන විට” එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් චලනය වී ඇති බවයි.
පටිගත දත්ත අනුව, එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් “RUN සිට CUTOFF” ලෙසට මාරු කළේ ඇයි දැයි විමසා ඇති අතර, අනෙක් නියමුවා තමා එසේ නොකළ බවට පිළිතුරු දී තිබේ. ඒ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මෙම පාලන ස්විචයන් ස්වයංක්‍රීයව ක්‍රියා නොකරන අතර, ඒවා ගුවන් නියමුවන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයකි. ගුවන් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙවැනි ඉන්ධන ස්විචයක් අක්‍රිය වීම ‘අතිශය දුර්ලභ’ අවස්ථාවක් බවයි.