දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද ජුනි 27 නියෝග කළාය.දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ලියනගේ මහතා වෙනුවෙන් අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ. මහෙස්ත්‍රාත්වරිය විසින් ලියනගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළාය.මෙම නඩුව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිටීදැයි මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී, එවක විෂය භාර අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න මහතාද සැකකරුවෙකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කළේය. මෙය මෙම නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නව මානයක් එකතු කරයි.එමෙන්ම අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ, 2013 ඔක්තෝම්බර් 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.සැකකරුට ඇති චෝදනා වන්නේ
කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදු කර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය යටතේ පිරිසිදු කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300ක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී තිබූ අතර, සෙසු පහසුකම් ඔවුන් විසින්ම සලසා ගැනීමට ද එකඟ වී ඇත.එහෙත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් “වැලිගොව්වා” නෞකාව සහ අනෙකුත් පහසුකම් ද අදාළ කොරියානු සමාගමට ලබා දීමට සිදුවීමෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.එමෙන්ම මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද, මෙම ව්‍යාපෘතියේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවත්, භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් අල්ලස් කොමිසම චෝදනා කළේය. මෙම ක්‍රියාවලිය තුළින් එවක සභාපතිවරයා වශයෙන් උපාලි ලියනගේ මහතා අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත්, අදාළ කාල සීමාව තුළ සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර නොමැති බවත්ය. අදාළ කොරියානු සමාගම ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම්, එය අයකර ගැනීමට ධීවර වරාය නීතිගත සංස්ථාව නඩු පැවරිය යුතු බවත්, එහෙත් එසේ කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම, 77 වන වියේ පසුවන සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ අතර, පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා නැවත කැඳවීමට නියම විය.