පුංචි ඡන්දයේ අතිරේක ලැයිස්තුවෙ නම් ගැසට්ටුවට
පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.
අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.